බ්‍රිතාන්‍යයේ ජනප්‍රිය ඇඳුම් අලෙවිසැලක් වන රිවර් අයිලන්ඩ් (River Island), සිය එක්සත් රාජධානියේ වෙළඳසැල් 33ක් වසා දැමීමට සැලසුම් කර ඇති අතර, එමගින් රැකියා සිය ගණනකට අවදානමක් මතුව තිබේ. අන්තර්ජාලය හරහා සාප්පු සවාරි යන පාරිභෝගිකයින් වැඩිවීම සහ වෙළඳසැල් පවත්වාගෙන යාමේ අධික පිරිවැය මෙම තීරණයට හේතු වී ඇති බව සමාගම සිය ණය හිමියන්ට දැනුම් දී ඇත.
වෙළඳසැල් වසා දැමීමට අමතරව, අවදානමට ලක්ව ඇති තවත් වෙළඳසැල් 71ක් සඳහා කුලී අඩු කරන ලෙස ඔවුන් තම ඉඩම් හිමියන්ගෙන් ඉල්ලා සිටී. පවුලක් සතු මෙම සිල්ලර වෙළඳසැල දැනට වෙළඳසැල් 230ක් පවත්වාගෙන යන අතර, සේවකයින් 5,500ක් පමණ සේවය කරයි. කෙසේ වෙතත්, ඔවුන් දැඩි මූල්‍ය පාඩු අත්විඳ ඇති අතර, නවතම ගිණුම් වාර්තා අනුව 2023 වසරේදී පවුම් මිලියන 33.2ක පාඩුවක් වාර්තා කර තිබේ.
රිවර් අයිලන්ඩ් ප්‍රධාන විධායක නිලධාරී බෙන් ලුවිස් ප්‍රකාශ කළේ, රිවර් අයිලන්ඩ් “ඉතා ප්‍රිය කරන” බ්‍රිතාන්‍ය සිල්ලර වෙළඳසැලක් වුවද, වැඩිවන අන්තර්ජාල සාප්පු සවාරි හේතුවෙන් ඔවුන් සතුව “පාරිභෝගික අවශ්‍යතාවලට අනුකූල නොවන විශාල වෙළඳසැල් සමූහයක්” පවතින බවයි. “පසුගිය වසර කිහිපය තුළ ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමේ පිරිවැය තියුණු ලෙස ඉහළ යාම මූල්‍ය බර තවත් වැඩි කර ඇත” යැයි ද ඔහු වැඩිදුරටත් පැවසීය.
සමාගම යථා තත්ත්වයට පත් කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක වන නමුත්, ප්‍රතිව්‍යුහගතකරණය ද අත්‍යවශ්‍ය බව ඔහු සඳහන් කළේය. “වෙළඳසැල් වසා දැමීම් හේතුවෙන් සිදුවන ඕනෑම රැකියා අහිමිවීමක් ගැන අප කනගාටු වන අතර, ඒවා අවම කිරීමට අපි උත්සාහ කරන්නෙමු” යනුවෙන් ද ඔහු පැවසීය.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.