Qantas ගුවන් සේවයේ මිලියන 6ක පාරිභෝගික දත්ත වලට සයිබර් ප්‍රහාරයක්!

ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම ගුවන් සේවය වන Qantas, ප්‍රධාන සයිබර් ප්‍රහාරයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව අද (ජූලි 02) නිවේදනය කළා. මෙම ප්‍රහාරයෙන් මිලියන 6කට අධික පාරිභෝගිකයන්ගේ පුද්ගලික දත්ත අඩංගු පද්ධතියකට අනවසරයෙන් ප්‍රවේශ වී ඇති බවයි වාර්තා වන්නේ.

සඳුදා (ජූනි 30) තෙවන පාර්ශවීය අසාමාන්‍ය ක්‍රියාකාරකමක් හඳුනා ගැනීමෙන් පසු, ක්වන්ටාස් සිය පද්ධති සුරක්ෂිත කිරීමට “ක්ෂණික පියවර” ගත් බව ගුවන් සේවය අද (ජූලි 02) ප්‍රකාශ කළා. කොපමණ දත්ත ප්‍රමාණයක් සොරකම් කර ඇත්ද යන්න පිළිබඳව ගුවන් සේවය පරීක්ෂණ පවත්වන නමුත්, එය “සැලකිය යුතු” ප්‍රමාණයක් වනු ඇතැයි අපේක්ෂා කරන බව නිවේදනයක් නිකුත් කරමින් ක්වන්ටාස් සඳහන් කර ඇත.

ගුවන් සේවයට අනුව, බලපෑමට ලක් වූ දත්තවලට පාරිභෝගිකයින්ගේ නම්, විද්‍යුත් තැපැල් ලිපින, දුරකථන අංක, උපන් දින සහ නිතර පියාසර කරන්නන්ගේ අංක ඇතුළත් වන නමුත්, ක්‍රෙඩිට් කාඩ් විස්තර, පුද්ගලික මූල්‍ය තොරතුරු හෝ ගුවන් ගමන් බලපත්‍ර විස්තර ඇතුළත් නොවන බව සඳහන් වේ.

ක්වන්ටාස් වැඩිදුර ආරක්ෂක පියවරයන් ක්‍රියාත්මක කර ඇති බවත්, පොලීසිය, ඕස්ට්‍රේලියානු සයිබර් ආරක්ෂණ මධ්‍යස්ථානය (Australian Cyber Security Centre) සහ ඕස්ට්‍රේලියානු තොරතුරු කොමසාරිස් කාර්යාලය (Office of the Australian Information Commissioner) දැනුවත් කර ඇති බවත් පවසා ඇත.

 

උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top