ඉරානයෙන් ඊශ්‍රායලයට නැවත මිසයිල ප්‍රහාර, ඊශ්‍රායලය ටෙහෙරානයට ප්‍රතිප්‍රහාර එල්ල කරයි
ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින ගැටුම තවදුරටත් උත්සන්න කරමින්, දෙපාර්ශ්වයම නව ප්‍රහාර මාලාවක් දියත් කර ඇත.
ජුනි 15 වන දින ඉරානය, ඊශ්‍රායලය වෙත තවත් මිසයිල ප්‍රහාර එල්ල කළ අතර, හයිෆා (Haifa) නගරයේ තෙල් පිරිපහදුවක ගින්නක් ද හටගෙන තිබේ. ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ, මෙම ප්‍රහාරය “Operation Honest Promise 3” මෙහෙයුමේ කොටසක් බවයි.
ද ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල් (The Times of Israel) පුවත්පතට අනුව, ටම්රා (Tamra) හි පිහිටි නිවසකට ඉරාන මිසයිලයක් වැදීමෙන් එක් අයෙකු මියගොස් තවත් 13 දෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
ඊශ්‍රායලයේ ගිනි නිවන හා ගලවා ගැනීමේ සේවා සඳහන් කළේ, වෙරළබඩ සහ උතුරු දිස්ත්‍රික්කවල පිහිටි නේවාසික ගොඩනැගිලිවලට ප්‍රහාර එල්ල වී ඇති බවත්, එම ප්‍රදේශවල ගිනිගැනීම් කිහිපයක් ද හටගෙන ඇති බවත්ය.
ඒ සමගම, ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළේ, ඉරානයේ අගනුවර වන ටෙහෙරානයට ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටින බවත් ඉරානයෙන් එල්ල වූ මිසයිල ඊශ්‍රායල හමුදා විසින් අහසේදී වළක්වා ගනිද්දී, ඊශ්‍රායල ගුවන් හමුදාව ටෙහෙරානය තුළ පිහිටි හමුදා කඳවුරු ඉලක්ක කර ගනිමින් සිටින බවත්ය.
ඉරානයේ කණිජතෙල් අමාත්‍යාංශය තහවුරු කළේ, ටෙහෙරානයේ පිහිටි ඉන්ධන ගබඩා දෙකකට ඊශ්‍රායල ගුවන් ප්‍රහාර එල්ල වී ඇති බවයි.
මේවන විට දෙරට අතර යුධමය තත්වය සීඝ්‍රයෙන් උත්සන්න වෙමින් පවතින අතර, මැදපෙරදිග කලාපයේ පුළුල් යුද්ධයක භීතියක් මතුවෙමින් පවතී.
උපුටා ගැනීම: සියළු තොරතුරු WION ඇසුරෙනි