ලෝකයේ වඩාත්ම කීර්තිමත් ජාත්‍යන්තර සම්මානය වන 2025 නොබෙල් ත්‍යාග ප්‍රදානෝත්සවය නිල වශයෙන් ආරම්භ වී තිබේ. පළමු ත්‍යාගය වන කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව සඳහා වන සම්මානය නිවේදනය කිරීමත් සමඟම, ලෝකයේ අවධානය සම්පූර්ණ සතිය පුරාම මෙම සම්මාන වෙත යොමු වී ඇත.
සඳුදා (ඔක්තෝබර් 6) දින ප්‍රකාශයට පත්කරන ලද වෛද්‍ය විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය මේරි බෘන්කෝ (Mary Brunkow), ෆ්‍රෙඩ් රැම්ස්ඩෙල් (Fred Ramsdell), ෂිමොන් සකගුචි (Shimon Sakaguchi) යන විද්‍යාඥයින් තිදෙනාට හිමි වී ඇත.
ඔවුන්ට මෙම සම්මානය හිමි වී ඇත්තේ Peripheral immune tolerance පිළිබඳ ඔවුන්ගේ සොයාගැනීම් වෙනුවෙනි. සම්මාන ප්‍රදානය කරන ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් වූයේ, ඔවුන්ගේ සොයාගැනීම් නව පර්යේෂණ ක්ෂේත්‍රයක් සඳහා අඩිතාලම දමා ඇති අතර, උදාහරණයක් ලෙස පිළිකා සහ ස්වයං ප්‍රතිශක්තිකරණ රෝග (autoimmune diseases) සඳහා නව ප්‍රතිකාර ක්‍රම සංවර්ධනය කිරීමට එය උත්තේජනයක් වී ඇති බවයි.
නොබෙල් ත්‍යාග ලොව කීර්තිමත්ම ජාත්‍යන්තර සම්මාන වන අතර, එය ස්වීඩන් ජාතික රසායන විද්‍යාඥයෙකු, ඉංජිනේරුවෙකු සහ ඩයිනමයිට් සොයාගැනීමෙන් ප්‍රසිද්ධියට පත් වූ කර්මාන්තකරුවෙකු වන ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ (Alfred Nobel) අවසන් කැමැත්ත පරිදි ස්ථාපිත කරන ලද්දකි.
මෙහි ප්‍රධාන අරමුණ වනුයේ, පෙර වසර තුළ මනුෂ්‍ය වර්ගයාට ඉහළම ප්‍රතිලාභය සැලසූ පුද්ගලයන් ඇගයීම සඳහා වාර්ෂික ත්‍යාග සඳහා අරමුදල් සැපයීමටය. භෞතික විද්‍යාව, රසායන විද්‍යාව සහ ආර්ථික විද්‍යාව සඳහා රාජකීය ස්වීඩන් විද්‍යා ඇකඩමිය (Royal Swedish Academy of Sciences) මඟින්ද, වෛද්‍ය විද්‍යාව සඳහා කැරොලින්ස්කා ආයතනයේ නොබෙල් මණ්ඩලය (Nobel Assembly at the Karolinska Institutet) මඟින්ද, සාහිත්‍යය සඳහා ස්වීඩන් ඇකඩමිය (Swedish Academy) මඟින්ද සාමය සඳහා නෝර්වීජියානු නොබෙල් කමිටුව (Norwegian Nobel Committee) මඟින්ද ත්‍යාග ප්‍රධානය කරනු ලබයි.
මෙම වසරේ එක් ත්‍යාගයක වටිනාකම ස්වීඩන් ක්‍රෝනර් මිලියන 11 ක් (ඇමරිකානු ඩොලර් මිලියන 1.2 ක් පමණ) වන අතර, සම්මාන විධිමත්ව පිරිනැමීම සිදු කරනු ලබන්නේ නොබෙල්ගේ අභාවයේ සංවත්සරය වන දෙසැම්බර් 10 වන දින ය.
උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.