ස්කොට්ලන්තයේ සුප්‍රසිද්ධ කින්ලොක් කාසල් (Kinloch Castle) මාලිගාව නැවතත් පවුම් 750,000කට විකිණීමට

වසර දෙකකට පෙර විකිණීමට තිබියදී ඇති වූ ගැටලුවක් හේතුවෙන් විකිණීම නතර වූ, ස්කොට්ලන්තයේ (Scotland) සුප්‍රසිද්ධ කින්ලොක් කාසල් (Kinloch Castle) නම් මාලිගාව නැවත වරක් වෙළෙඳපොළට පැමිණ තිබෙනවා.

රුම් දූපතේ (Isle of Rum) පිහිටා ඇති මෙම ඓතිහාසික මාලිගාව පවුම් 750,000ක මුදලකට විකිණීමට නියමිත බව වාර්තා වේ. කෙසේ වෙතත්, එය යළි පිළිසකර කිරීමට විශාල මුදලක් අවශ්‍ය වනු ඇති බවට ඇස්තමේන්තු කර තිබෙනවා.

මෙම මාලිගාවේ පෙර විකිණීම අසාර්ථක වූයේ, මාලිගාව මිලදී ගැනීමට උනන්දුවක් දැක්වූ ධනවත් ව්‍යාපාරිකයෙකු වන ජෙරමි හොස්කින් (Jeremy Hosking) සහ ස්කොට්ලන්ත රජයේ අමාත්‍යවරයෙකු අතර ඇති වූ මතභේදයක් හේතුවෙන් බව සඳහන් වේ. එකල, රුම් දූපත් ප්‍රජාව විසින් හොස්කින් මහතාගේ සැලසුම් සම්බන්ධයෙන් සවිස්තරාත්මක තොරතුරු නොමැති වීම පිළිබඳව විරෝධය පළ කර තිබුණා.

මේ වන විට මෙම මාලිගාව අයත් වන්නේ ස්කොට්ලන්ත රජයේ නියෝජිත ආයතනයක් වන NatureScot වෙතයි. ඔවුන් පවසන්නේ, නව ගැනුම්කරුවන් ඔවුන්ගේ සැලසුම් ඉදිරිපත් කිරීමේදී, මෙම මාලිගාව මගින් දූපතේ ස්වභාවිකත්වය, සංස්කෘතිය සහ ආර්ථිකයට කෙසේ සහයෝගය දක්වන්නේද යන්න පිළිබඳවද පැහැදිලි කළ යුතු බවයි.

මෙම මාලිගාව එඩ්වඩියානු සමාජයේ කේන්ද්‍රස්ථානයක් ලෙස ප්‍රසිද්ධව පැවති අතර, එහි ප්‍රධාන අංග ලෙස විදුලි ආලෝකය, මධ්‍යම තාපන පද්ධතිය සහ යන්ත්‍ර සූත්‍ර මගින් ක්‍රියාත්මක වන ‘ඔර්කෙස්ට්‍රියන්’ (orchestrion) නම් සංගීත භාණ්ඩයක් ද ඇතුළත් විය. 1900 වසරේදී ඉදි කරන ලද මෙම මාලිගාව 1957 දී රජයට පවරා ගනු ලැබිණි. දැනට 40 දෙනෙකු පමණ ජීවත් වන මෙම දූපතේ ජනතාව විසින් මෙම විකිණීමට සහයෝගය දක්වා තිබීමද විශේෂත්වයක් වේ.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top