රුසියාව ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් රජය නිල වශයෙන් පිළිගත් පළමු රට බවට පත්වෙයි.

රුසියාව, ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් රජය නිල වශයෙන් පිළිගත් ලොව පළමු රට බවට පත්ව ඇති අතර, මෙය විපක්ෂ කණ්ඩායම්වල දැඩි විරෝධයට තුඩු දී තිබෙනවා.

තලෙයිබාන් සංවිධානය කාබුල් අගනුවර අත්පත් කරගෙන බලයට පත්වීමෙන් වසර හතරකට ආසන්න කාලයකට පසු මෙම තීරණය ඔවුන්ට හිමි වූ ප්‍රධාන ජයග්‍රහණයක් සනිටුහන් කරයි. විදේශ අමාත්‍ය අමීර් ඛාන් මුටාකි (Amir Khan Muttaqi) ප්‍රකාශ කළේ, කාන්තාවන් සහ ගැහැණු ළමුන් මත දැඩි සීමා පනවමින් ෂරියා නීතිය ක්‍රියාත්මක කරන මෙම පාලනය පිළිගැනීමට පසුබට වූ අනෙකුත් රටවල් සඳහා මෙය ආදර්ශයක් වනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවයි.

තලෙයිබාන් රජය මීට පෙර ප්‍රකාශ කර තිබුණේ, ඇෆ්ගන් සංස්කෘතිය සහ ඉස්ලාමීය නීතිය පිළිබඳ ඔවුන්ගේ අර්ථකථනයට අනුව කාන්තා අයිතිවාසිකම්වලට ගරු කරන බවයි. එහෙත්, 2021 සිට, වයස අවුරුදු 12ට වැඩි ගැහැණු ළමුන්ට අධ්‍යාපනය ලැබීම වළක්වා ඇති අතර, කාන්තාවන්ට බොහෝ රැකියාවන් සඳහා ද තහංචි පනවා තිබෙනවා. පිරිමි භාරකරුවෙකු නොමැතිව කාන්තාවකට ගමන් කළ හැකි දුර ප්‍රමාණය සහ ප්‍රසිද්ධියේ හඬ නැගීම පිළිබඳව ද සීමාවන් පනවා ඇත.

රුසියාව විසින් බ්‍රහස්පතින්දා (ජූලි 03) ලබා දුන් මෙම පිළිගැනීම “ධනාත්මක සබඳතා, අන්‍යෝන්‍ය ගෞරවය සහ නිර්මාණාත්මක සහභාගීත්වයේ නව අවධියක්” ලෙස විදේශ අමාත්‍ය මුටාකි විස්තර කළ අතර, මෙම තීරණය ධෛර්ය සම්පන්න එකක් ලෙස හැඳින්වීය. රුසියානු විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේ, ත්‍රස්තවාදයේ සහ මත්ද්‍රව්‍ය ජාවාරමේ තර්ජනවලට එරෙහිව සටන් කිරීමට කාබුල්ට අඛණ්ඩව උදව් කරන බවයි.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top