රුසියාව විසින් එල්ල කරන ලද “දැවැන්ත” ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයකින් යුක්රේනයේ අගනුවර වන කියෙව්හි සහ අවට ප්‍රදේශයේ අවම වශයෙන් 10 දෙනෙකු මියගොස් ඇති බව බලධාරීහු පවසති. අද උදෑසන එල්ල වූ මෙම ප්‍රහාර, නගරය පුරා විවිධ දිස්ත්‍රික්කවල නේවාසික ප්‍රදේශ ඉලක්ක කර ගෙන ඇත. සතියක් තුළ සිදුවූ දෙවැනි දැවැන්ත ප්‍රහාරය මෙය වන අතර, ඊශ්‍රායලයට එරෙහි ඉරානයේ ගුවන් මෙහෙයුමට අමෙරිකාව එක්වීමේ තීරණය කෙරෙහි ගෝලීය අවධානය යොමු වී ඇති මොහොතක රුසියාව විසින් මෙම ප්‍රහාර එල්ල කර ඇත.
යුක්රේන ගුවන් හමුදාවට අනුව, රුසියාව රාත්‍රී බැලස්ටික් මිසයිල 11ක් සහ කෲස් මිසයිල 5ක් එල්ල කර ඇත. ගුවන් ආරක්ෂක පද්ධති මගින් බොහෝ ප්රක්ෂේපණ ඒවායේ ඉලක්ක වෙත ළඟා වීමට පෙර අත්හිටුවා හෝ අඩපණ කර ඇති බවද ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
කියෙව්හි හමුදා පරිපාලනයේ ප්‍රධානී ටයිමූර් ට්කාචෙන්කෝ (Tymur Tkachenko) නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, “රුසියානුවන්ගේ ශෛලිය වෙනස් වී නැහැ – මිනිසුන් සිටින තැනට පහර දීම, නේවාසික ගොඩනැගිලි, නවාතැන් වලින් පිටවන මාර්ග විනාශ කිරීම රුසියානු ශෛලියයි.” විශාල පරිමාණයේ ප්‍රහාරය අතරතුර නේවාසික ගොඩනැගිලි, රෝහල්, ක්‍රීඩා යටිතල පහසුකම් සහ මෙට්‍රෝ දුම්රිය ස්ථානයක පිවිසුමක් ද ගුවන් ප්‍රහාරවලට ලක්ව ඇති බව හදිසි සේවා සඳහන් කළේය.
කියෙව්හි දිස්ත්‍රික්ක 10 න් 6 කට ප්‍රහාරයෙන් හානි සිදුව ඇති බව අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ඉගෝර් ක්ලයිමෙන්කෝ (Ihor Klymenko) ටෙලිග්‍රෑම් ඔස්සේ පැවසීය. කියෙව්හි ෂෙව්චෙන්කිව්ස්කි (Shevchenkivskyi) දිස්ත්‍රික්කයේ උස් නේවාසික ගොඩනැගිල්ලක මුළු පිවිසුමම විනාශ වී ඇති අතර කිහිප දෙනෙකු මිය ගොස් ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.