මැඩගස්කරයේ හමුදා ඒකකයක් බලය අත්පත් කර ගනී

සති ගණනක දේශපාලන අර්බුදයකින් පසුව මැඩගස්කරයේ CAPSAT නම් ප්‍රභූ හමුදා ඒකකයක් බලය අත්පත් කර ගෙන ඇති බවත්, ඔවුන් රටේ ජනාධිපති ඇන්ඩ්‍රි රාජෝලීනා (Andry Rajoelina) බලයෙන් පහ කර ඇති බවත් ප්‍රකාශ කර තිබේ.

CAPSAT ඒකකය විසින් ව්‍යවස්ථාපිත අධිකරණය සහ මැතිවරණ කොමිසම ඇතුළු ප්‍රධාන ප්‍රජාතන්ත්‍රවාදී ආයතන අත්හිටුවා ඇත. ඔවුන් වසර දෙකක් ඇතුළත මැතිවරණ පැවැත්වීමට පොරොන්දු වී ඇත. මීට පෙර, නීති සම්පාදකයින් විසින් ජනාධිපති රාජෝලීනාව දෝෂාභියෝගයකින් ඉවත් කිරීමට ඡන්දය ප්‍රකාශ කළ නමුත්, ඔහු එය නීති විරෝධී සහ වලංගු නොවන ලෙස ප්‍රතික්ෂේප කර ඇත.

ජනාධිපති ඇන්ඩ්‍රි රාජෝලීනා ප්‍රංශ හමුදා ගුවන් යානයකින් රටින් පලා ගොස් ඇති බවට වාර්තා පළ වී ඇත. කෙසේ වෙතත්, හමුදා පාලනයෙන් පසු අන්තර්ජාලය ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කරමින් රාජෝලීනා අවධාරණය කර ඇත්තේ තමන් දිගටම ජනාධිපති ලෙස කටයුතු කරන බවයි.

මැඩගස්කරය සති ගණනාවක් පුරා විරෝධතා මාලාවකින් කැලඹී ගිය අතර, බොහෝ දුරට තරුණ පරම්පරාව (Gen Z) විසින් මෙහෙයවන ලද මෙම විරෝධතාවලට මූලික වශයෙන් විදුලිය හා ජල හිඟය, ඉහළ ජීවන වියදම සහ පුලුල්ව පැතිරුණු දුප්පත්කම (ජනගහනයෙන් 75%ක් පමණ දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත් වේ), තරුණයින්ගේ ඉහළ විරැකියාව සහ රැකියා අවස්ථා නොමැතිකම, උසස් අධ්‍යාපනයට ප්‍රවේශ වීමේ ගැටලු, රාජෝලීනාගේ පාලනය යටතේ පැතිර ගිය බව කියන දූෂණ හා අක්‍රමිකතා චෝදනා, රජයේ අසාර්ථකත්වය සහ පාලක ප්‍රභූව කෙරෙහි ඇති වූ දැඩි කලකිරීම යන  කරුණු හේතු වී ඇත.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top