ප්‍රංශයේ දෙවන විශාලතම නගරය වන මාසෙල් (Marseille) නගරයේ බාහිර මායිමට ළඟා වූ වේගයෙන් ව්‍යාප්ත වන ලැව් ගින්නකින් පුද්ගලයන් 110 දෙනෙකු සුළු වශයෙන් තුවාල ලබා ඇති බව වාර්තා වේ.අභ්‍යන්තර කටයුතු අමාත්‍ය බෲනෝ රිටේයෝ (Bruno Retailleau) පැවසුවේ, ගිනි නිවන භටයන් 800ක් පමණ එම ස්ථානයේ සිටින බවත්, ගින්න තවමත් පාලනය කර නොමැති හෙයින්, එය මැඩලීමේ උත්සාහයන් මුළු රාත්‍රිය පුරාම අඛණ්ඩව සිදු වූ බවත්ය.
ගින්න එහි උපරිම අවස්ථාවේදී විනාඩියකට කිලෝමීටර් 1.2ක (සැතපුම් 0.7ක) වේගයකින් පැතිර ගිය බව නගරාධිපතිවරයා පවසා ඇති අතර, සුළං තදබදය, ඝන වෘක්ෂලතාදිය සහ අධික බෑවුම්වල එකතුවක් මෙයට හේතු වූ බවට සදහන් කර ඇත.
අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයට අනුව, ගිනි නිවන භටයන් නව දෙනෙකු සහ පොලිස් නිලධාරීන් 22 දෙනෙකු ඇතුළුව පුද්ගලයන් 110 දෙනෙකු සුළු වශයෙන් තුවාල ලබා තිබූ අතර, අවම වශයෙන් පුද්ගලයන් 400 දෙනෙකු තම නිවෙස්වලින් ඉවත් කර ඇත.
එක්සත් රාජධානියේ රාජ්‍ය සංචාරයක නිරත වූ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් (Emmanuel Macron), ගිනි නිවන කණ්ඩායම් සඳහා සහය පළ කළ අතර, ආරක්ෂක උපදෙස් පිළිපදින ලෙස නිවැසියන්ගෙන් ඉල්ලා සිටීමට කටයුතු කර ඇත.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.