ගැබ්ගෙන සිටියදී මවට කක්කල් කැස්ස (whooping cough) එන්නත ලබා නොගැනීම හේතුවෙන්, රෝගය වැළඳී බිලිඳෙකු මිය ගොස් ඇති බව එක්සත් රාජධානියේ (UK) සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සිය (UKHSA) පවසයි. 2025 ජනවාරි සහ ජූනි අතර කාලයේදී සිදු වූ මෙම මරණය, මෙම වසරේ එක්සත් රාජධානියේ කක්කල් කැස්ස හේතුවෙන් සිදුවූ පළමු මරණය වේ.
කක්කල් කැස්ස යනු පෙනහළු සහ ශ්වසන මාර්ග ආසාදනය කරන බැක්ටීරියා ආසාදනයක් වන අතර, විශේෂයෙන්ම ළදරුවන් සඳහා එය මාරාන්තික විය හැකිය. 2024 වසරේදී මෙම රෝගය හේතුවෙන් ළදරුවන් එකොළොස් දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇත.
ගැබිනි කාන්තාවන්ට මෙන්ම ළදරුවන්ට සහ කුඩා දරුවන්ට ද ඒ සඳහා එන්නත් ලබා ගැනීමට උපදෙස් දී ඇති අතර, වර්තමානයේ ගැබිනි කාන්තාවන් අතර එන්නත් ලබා ගැනීමේ ප්‍රතිශතය 72.6%ක් වේ. 2013 වසරේ සිට කක්කල් කැස්ස හේතුවෙන් ළදරුවන් 33 දෙනෙකු මිය ගොස් ඇති අතර, ඉන් 27 දෙනෙකුගේ මව්වරුන් ගැබ්ගෙන සිටියදී එම එන්නත ලබාගෙන නොතිබුණි.
UKHSA හි නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය ගයාත්‍රි අමිර්තලින්ගම් (Dr. Gayatri Amirthalingam) පවසා ඇත්තේ, මෙම සිදුවීම “ඉතාම කුඩා බිළිඳුන් සඳහා කක්කල් කැස්ස කොතරම් දරුණු විය හැකිද යන්න පිළිබඳව” මතක් කිරීමක් බවයි. “එන්නත්කරණය යනු කක්කල් කැස්සට එරෙහි හොඳම ආරක්ෂාවයි. ගැබිනි කාන්තාවන් සහ කුඩා ළදරුවන් නියමිත වේලාවට ඔවුන්ගේ එන්නත් ලබා ගැනීම අත්‍යවශ්‍යයි,” යනුවෙන් ඇය වැඩිදුරටත් පවසා ඇත.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.