මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව ට්‍රම්ප්ගේ හමුදා ප්‍රහාර සීමා කිරීමේ පියවරක් සෙනෙට් සභාවෙන් ප්‍රතික්ෂේප වෙයි

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව හමුදා ප්‍රහාර දියත් කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඇති බලතල සීමා කිරීම අරමුණු කරගත් ඩිමොක්‍රටික් පක්ෂය ප්‍රමුඛ පනතක්, එක්සත් ජනපද සෙනෙට් සභාව විසින් ප්‍රතික්ෂේප කර ඇත.

සෙනෙට් සභිකයන් වන ඇඩම් ෂිෆ් සහ ටිම් කේන් විසින් ඉදිරිපත් කරන ලද මෙම පියවර, කොංග්‍රසයේ අනුමැතිය නොලත් හමුදා ක්‍රියාමාර්ග, විශේෂයෙන්ම රාජ්‍ය නොවන මත්ද්‍රව්‍ය ජාවාරම් කණ්ඩායම් ඉලක්ක කරගත් ප්‍රහාර අවසන් කිරීමට අපේක්ෂා කළේය. එවැනි කණ්ඩායම් ත්‍රස්තවාදී සංවිධාන ලෙස නම් කිරීමෙන්, ඒවාට එරෙහිව බලය භාවිතා කිරීමට ජනාධිපතිවරයාට නීතිමය බලයක් නොලැබෙන බව මෙහිදී අවධාරණය කෙරිණි.

1973 යුද බලතල යෝජනාව (War Powers Resolution) මගින් සහාය ලැබූ මෙම පනත, 48ට එරෙහිව 51ක ඡන්දයකින් සුළු පරතරයකින් අසාර්ථක විය. ට්‍රම්ප්ගේ අනවසර ප්‍රහාර කලාපීය අස්ථාවරත්වයට හා අනවශ්‍ය ගැටුම්වලට තුඩු දෙන බව ඩිමොක්‍රටික් පාක්ෂිකයෝ තර්ක කළහ. සෙනෙට් සභික ජැක් රීඩ් අනතුරු ඇඟවූයේ, ට්‍රම්ප්ගේ ක්‍රියාමාර්ග මගින් එක්සත් ජනපදය තවත් අවිනිශ්චිත ගැටුමකට ඇද දැමිය හැකි බවයි. 

ට්‍රම්ප් මීට පෙර වෙනිසියුලාවේ ට්‍රෙන් ඩි අරග්වා (Tren de Aragua), එල් සැල්වදෝරයේ MS-13 සහ මෙක්සිකෝවේ සිනලෝවා කාටෙල් (Sinaloa Cartel) වැනි කණ්ඩායම් විදේශීය ත්‍රස්තවාදී සංවිධාන ලෙස නම් කළ අතර, මෙම තීරණය හමුදා මෙහෙයුම් යුක්ති සහගත කිරීමට යොදා ගත්තේය.

වාර්තා පවසන්නේ, සැප්තැම්බර් මාසයේ සිට එක්සත් ජනපද හමුදා විසින් මාරාන්තික ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇති අතර, ඉන් අවම වශයෙන් පුද්ගලයන් 21 දෙනෙකු මියගොස් ඇති බවයි. ට්‍රම්ප් පරිපාලනය මෙම ප්‍රහාර ජාත්‍යන්තර නොවන සන්නද්ධ ගැටුම් ලෙස හැඳින්වූ අතර, මියගිය අය නීතිවිරෝධී සටන්කරුවන් ලෙස නම් කළේය.

උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top