ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට පැහැදිලිව දන්වා ඇත්තේ, මැයි මාසයේ ඇති වූ දින හතරක ගැටුමකින් පසු ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇති වූ සටන් විරාමය දෙරටේ හමුදා අතර සෘජු සාකච්ඡා මගින් මිස අමෙරිකානු මැදිහත්වීමකින් සිදු නොවූ බවයි.
ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි බදාදා (ජූනි 18) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් කළේ, අග්‍රාමාත්‍ය මෝදි, ජනාධිපති ට්‍රම්ප්ට පැහැදිලිවම කියා සිටියේ, “මෙම කාලය තුළ ඉන්දු-අමෙරිකානු වෙළෙඳ ගනුදෙනු හෝ ඉන්දියාව සහ පාකිස්තානය අතර අමෙරිකානු මැදිහත්වීම වැනි කිසිදු විෂයයක් සම්බන්ධයෙන් කිසිදු අවස්ථාවක සාකච්ඡා නොකළ” බවයි. හමුදා ක්‍රියාමාර්ග නතර කිරීම සඳහා සාකච්ඡා සිදු වූයේ “ඉන්දියාව සහ පාකිස්තානය අතර පවතින හමුදා මාර්ග ඔස්සේ සෘජුවම සහ පාකිස්තානයේ බලකිරීම මත” බව මිස්රි අවධාරණය කළේය.
අග්‍රාමාත්‍ය මෝදි වැඩිදුරටත් අවධාරණය කළේ, “ඉන්දියාව අතීතයේදී මැදිහත්වීම් පිළිගෙන නොමැති අතර, කිසිදාක එය නොකරනු ඇති” බවයි. කැනඩාවේ පැවති G7 සමුළුවට මෝදි මහතා ආරාධිතයෙකු ලෙස සහභාගී වුවද, එහිදී දෙරටේ නායකයින්ට හමුවීමට නොහැකි වීමෙන් පසු, ට්‍රම්ප්ගේ බලකිරීම මත අඟහරුවාදා රාත්‍රියේ මෙම දුරකථන සංවාදය සිදුවී ඇත.
උපුටා ගැනීම: සියළු තොරතුරු AL JAZEERA අනුග්‍රහයෙනි.