ප්‍රංශයේ නව දේශපාලන අර්බුදයක්: අගමැති සෙබස්තියන් ලෙකෝර්නු (Sébastien Lecornu) දින 26න් ඉල්ලා අස්වෙයි

ප්‍රංශයේ නවතම අගමැතිවරයා වූ සෙබස්තියන් ලෙකෝර්නු (Sébastien Lecornu) එම ධුරයට පත්වී දින 26කට පසු ඉල්ලා අස්වීමත් සමඟ එම රට නැවතත් දේශපාලන අවුල් ජාලයකට මුහුණ දී සිටී.

ඔහු අනපේක්ෂිත ලෙස ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කර ඇත්තේ, ඊට පෙර දින රාත්‍රියේදී ඔහු සිය නව කැබිනට් මණ්ඩලය එළිදැක්වීමෙන් පසුව වීම විශේෂත්වයකි. ඔහු ඉල්ලා අස්වී පැය කිහිපයකට පසු, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් (Emmanuel Macron) ගේ ඉල්ලීමකට අනුව බදාදා සවස වන විට “රටේ ස්ථාවරත්වය සඳහා” සැලැස්මක් සකස් කිරීමට ලෙකෝර්නු එකඟ වී ඇත.

ලෙකෝර්නුගේ නව අමාත්‍ය මණ්ඩලයට එරෙහිව ජාතික සභාවේ (National Assembly) පක්ෂ විසින් දැඩි විවේචනයක් එල්ල කරන ලද අතර, එය ඡන්දයෙන් පරාජය කිරීමට පවා ඔවුන් තර්ජනය කර තිබිණි. විශේෂයෙන්ම, හිටපු මුදල් අමාත්‍යවරයෙකු වූ බෲනෝ ලෙ මයාර් (Bruno Le Maire) සන්නද්ධ හමුදා අමාත්‍යවරයා ලෙස නම් කිරීම බොහෝ දේශපාලන කණ්ඩායම්වලට ගැටලුවක් විය. අර්බුදය අවසන් කිරීමේ උත්සාහයක් ලෙස ලෙ මයාර් සඳුදා පස්වරුවේ කැබිනට් මණ්ඩලයෙන් ඉවත් වන බව නිවේදනය කර ඇත.

ලෙකෝර්නු යනු මාස 24ක් තුළ ප්‍රංශයේ පස්වන අගමැතිවරයා වන අතර, පසුගිය දෙසැම්බරයෙන් පසු ධුරයෙන් ඉවත් වූ තුන්වන අගමැතිවරයා ද ඔහුය. මැක්‍රොන්ගේ අයවැයට මන්ත්‍රීවරුන් සහාය දීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ෆ්‍රැන්කොයිස් බයිරූ (François Bayrou) ගේ රජය බිඳ වැටීමෙන් අනතුරුව ලෙකෝර්නු අගමැති ලෙස පත් කරනු ලැබීය.

මෙම අනපේක්ෂිත සිදුවීමත් සමඟ, ප්‍රංශ දේශපාලන පක්ෂවලට රටේ ආර්ථික දුෂ්කරතා විසඳීමට ඇති හැකියාව පිළිබඳව ඇති වූ කනස්සල්ල හේතුවෙන් පැරිස් හුවමාරුවේ කොටස් මිල තියුණු ලෙස පහත වැටී ඇත.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top