ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, පකිස්තාන හමුදා ප්‍රධානී ෆීල්ඩ් මාර්ෂල් අසීම් මුනීර් (Asim Munir) මහතා ධවල මන්දිරයේදී ඊයේ (බදාදා) හමුවී ඇත. කිසිදු ඉහළ පෙළේ පකිස්තාන සිවිල් නායකයෙකු නොමැතිව පැවති මෙම ඓතිහාසික හමුව, විශේෂයෙන්ම ඉන්දියාව තුළ මතභේදයට තුඩු දී ඇත.
පසුගිය මාසයේ ඉන්දියාව සහ පකිස්තානය අතර ඇති වූ ගැටුම, න්‍යෂ්ටික යුද්ධයක් දක්වා වර්ධනය විය හැකිව තිබූ බවත්, එය නැවැත්වීමට තමන් මැදිහත් වූ බවත් ට්‍රම්ප් කියා සිටියේය. සාමය තෝරා ගැනීම සම්බන්ධයෙන් මුනීර්ට සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි (Narendra Modi) යන දෙදෙනාටම ඔහු ප්‍රශංසා කළේය.
දෙරටේ නායකයින් වෙළෙඳාම, ආර්ථික සංවර්ධනය සහ මැදපෙරදිග ආතතීන් පිළිබඳව සාකච්ඡා කළ බව පකිස්තාන හමුදාව පවසයි. ට්‍රම්ප් පකිස්තානය සමඟ ශක්තිමත් වෙළෙඳ සබඳතා ගොඩනැගීමට උනන්දුවක් දැක්වූ බව ද වාර්තා වේ.
කෙසේ වෙතත්, ඇමෙරිකානු මැදිහත්වීම ඉන්දියාව විසින් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන ලදි. ඉන්දීය විදේශ ලේකම්වරයා ප්‍රකාශ කළේ, ඉන්දියාව සහ පකිස්තානය අතර සටන් විරාමය ඔවුන්ගේම හමුදා මාර්ග ඔස්සේ සිදු වූවක් මිස, ට්‍රම්ප්ගේ මැදිහත්වීමකින් නොවන බවයි.
මැයි මාසයේ ගැටුම ආරම්භ වූයේ ඉන්දීය පාලනය යටතේ ඇති කාශ්මීරයේ සිදුවූ මාරාන්තික ප්‍රහාරයකින් පසුවය. ඊට ප්‍රතිචාර වශයෙන්, දෙරටම දේශසීමා හරහා හමුදා ප්‍රහාර එල්ල කළ අතර, එය පුළුල් යුද්ධයක් පිළිබඳ බියක් ඇති කළේය.
ට්‍රම්ප්ගේ මෙම නවතම ප්‍රකාශය, මෑත වසරවලදී ශක්තිමත් වූ ඉන්දියාව සහ ඇමෙරිකාව අතර සබඳතාවලට යම් ආතතියක් ඇති කළ හැකිය.
උපුටා ගැනීම: සියළු තොරතුරු Reuters ඇසුරෙනි.