ජනෙල් නොමැති ‘ජනේල ආසන’ විකිණීම සම්බන්ධයෙන් ඩෙල්ටා සහ යුනයිටඩ් ගුවන් සමාගම්වලට නඩු

ජනේල ආසන සඳහා වැඩිපුර මුදල් අය කර, ජනෙල් නොමැති හිස් බිත්තියක් අසල අසුන් ගැනීමට සිදුවූ බවට චෝදනා කරමින්, ඩෙල්ටා එයාර් ලයින්ස් (Delta Air Lines) සහ යුනයිටඩ් එයාර්ලයින්ස් (United Airlines) යන ගුවන් සමාගම්වලට එරෙහිව මගීන් විසින් නඩු පවරා තිබෙනවා.

ඇමරිකානු ගුවන් සේවා සමාගම් දෙකට එරෙහිව වෙන වෙනම ගොනු කර ඇති මෙම නඩු, ගුවන් සේවා සමාගම් දෙකේම මිලියනයකට අධික පාරිභෝගිකයින් සඳහා ඩොලර් මිලියන ගණනක වන්දියක් ඉල්ලා සිටියි. ගුවන් සමාගම්, ජනේල ආසන සඳහා අමතර මුදලක් අය කළත්, වෙන්කරවා ගැනීමේදී (booking) එම ආසනවල ජනෙල් නොමැති බව සඳහන් නොකරන බව පැමිණිලිකරුවන් පවසයි. මෙම නඩු දෙකම, ග්‍රීන්බෝම් ඔල්බ්‍රැන්ට්ස් (Greenbaum Olbrantz) නීති ආයතනය විසින් ගොනු කර ඇත.

පැමිණිලිවලට අනුව, ගුවන් ගමන් පිළිබඳ බිය හෝ කරකැවිල්ල, දරුවන් කාර්යබහුලව තබා ගැනීම හෝ දර්ශන නැරඹීම වැනි විවිධ හේතු නිසා මිනිසුන් ජනේල ආසන මිලදී ගන්නා බව සඳහන් වේ. මෙම ආසනවල ජනෙල් නොමැති බව දැන සිටියා නම්, සමහර මගීන් එම ආසන තෝරා නොගන්නා බව හෝ ඒ සඳහා වැඩි මුදලක් ගෙවන්නේ නැති බව පැමිණිලිවල සඳහන් වේ.

ජනෙල් නොමැති සමහර ආසන ඇති බව දැන සිටියත්, ගුවන් සමාගම් දෙකම තම ගුවන් යානාවල පැතිවල ඇති සෑම අසුනක්ම “ජනේල ආසන” ලෙස විස්තර කරන බව ලේඛනවල සඳහන් වේ. එක් එක් නඩුව නියෝජනය කරන නීතිඥයින් මෙය මුලා කිරීමක් සහ නීති විරෝධී ලෙස විස්තර කර ඇත. අනෙකුත් ගුවන් සමාගම් වන ඇමරිකන් එයාර්ලයින්ස් (American Airlines) සහ ඇලස්කා එයාර්ලයින්ස් (Alaska Airlines) වැනි සමාගම් ද එවැනිම ගුවන් යානා ක්‍රියාත්මක කරන නමුත්, ආසනයක ජනේලයක් නොමැති නම්, වෙන්කරවා ගැනීමේදී ඒ බව හෙළි කරන බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top