ගාසා ආධාර නැව් ආරක්ෂා කිරීමට ඉතාලිය සහ ස්පාඤ්ඤය නාවික යාත්‍රා යවයි

ගාසා තීරය (Gaza) වෙත ආධාර රැගෙන යන ගෝලීය සුමුද් ෆ්ලෝටිලාව (Global Sumud Flotilla – GSF) ආරක්ෂා කිරීම සඳහා ඉතාලිය සහ ස්පාඤ්ඤය නාවික යාත්‍රා මධ්‍යධරණී මුහුදට (Mediterranean Sea) යවා ඇත.

මෙම පියවර ගෙන ඇත්තේ, ආධාර රැගෙන යන මෙම යාත්‍රා සමූහයට ජාත්‍යන්තර මුහුදු තීරයේදී ඩ්‍රෝන් ප්‍රහාරයක් එල්ල වීමෙන් පසුවයි. ඉතාලි ආරක්ෂක අමාත්‍ය ගුයිඩෝ ක්‍රොසෙටෝ (Guido Crosetto) ප්‍රකාශ කර ඇත්තේ, මීට පෙර එක් යුධ නෞකාවක් පිටත් කර හැර ඇති බවත්, ඕනෑම අවස්ථාවක් සඳහා සූදානම්ව තවත් නෞකාවක් යවමින් සිටින බවත්ය.

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේද්‍රෝ සැන්චෙස් (Pedro Sanchez) ද ප්‍රකාශ කර ඇත්තේ, ස්පාඤ්ඤ නාවික හමුදාව ද මෙයට එක්වන බවයි. නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට (UNGA) සහභාගී වෙමින් ඔහු කියා සිටියේ, ජාත්‍යන්තර නීතියට ගරු කළ යුතු බවත්, ආධාර මෙහෙයුමට සහභාගී වන ජාතීන් 45ක පුරවැසියන්ට හානියකින් තොරව මධ්‍යධරණී මුහුදේ යාත්‍රා කිරීමට අයිතියක් ඇති බවත්ය. ඒ අනුව, ආධාර කිරීමට හෝ මුදවා ගැනීමේ මෙහෙයුමක් සිදු කිරීමට අවශ්‍ය සියලු සම්පත් සහිත නාවික යාත්‍රාවක් කාටජීනා (Cartagena) වරායෙන් පිටත් කර හැරීමට නියමිත බව ඔහු සඳහන් කර ඇත.

කෙසේ වෙතත්, ඉතාලිය මෙම නාවික යාත්‍රා යවන්නේ සිය පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට වුවද, ආධාර රැගත් යාත්‍රා ගාසා තීරයේ මුහුදු සීමාවට ඇතුළු නොවිය යුතු බවට ඉතාලිය අවධාරණය කර ඇත.

උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top