උණුසුම් වන බ්‍රිතාන්‍ය මුහුදු කලාපය වඳවී යාමේ තර්ජනයට ලක් වූ මෝරුන් හා බෙල්ලන් වර්ධනයට පිටිවහලක්

එක්සත් රාජධානිය අවට මුහුදු ජලයේ උෂ්ණත්වය ඉහළ යාම, දේශීය බෙල්ලන්, බාස්කින් මෝරුන් (basking sharks) සහ රේ මත්ස්‍යයන් (rays) වැනි වඳවී යාමේ තර්ජනයට ලක් වූ සමහර සමුද්‍රීය විශේෂයන්ගේ පවර්ධනයට හේතු විය හැකි බව විද්‍යාඥයෝ අනාවරණය කරති. මෙම තත්ත්වය මතු වී ඇත්තේ, මැයි මාසයේ ඇති වූ අධික උණුසුම් කාලගුණය හේතුවෙන් මුහුදු ජලයේ උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමට වඩා සෙල්සියස් අංශක 4ක් දක්වා ඉහළ යාමෙන් පසුවය.

පාරිසරික, ධීවර හා ජලජීවී වගා විද්‍යා මධ්‍යස්ථානය (Centre for Environment, Fisheries and Aquaculture Science – Cefas) විසින් සිදු කරන ලද නව අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ, අවදානමට ලක් වූ විශේෂ 19ක් පමණ උතුරු මුහුද (North Sea) වෙත තම වාසස්ථාන මාරු කිරීමට ඉඩ ඇති බවයි. දේශගුණික විපර්යාසයන් හේතුවෙන් උතුරු මුහුද අනාගතයේදී සමුද්‍රීය ජෛව විවිධත්වයේ කේන්ද්‍රස්ථානයක් (hotspot) වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කෙසේ වෙතත්, මෙම ජීවී විශේෂයන්ගේ පැවැත්ම සහතික කිරීම සඳහා නව වාසස්ථාන පමණක් ප්‍රමාණවත් නොවන බව විද්‍යාඥයෝ අනතුරු අඟවති. මෙම සමුද්‍රීය ජීවීන් දූෂණය, අධික ලෙස මසුන් ඇල්ලීම සහ වාසස්ථාන විනාශය වැනි තර්ජනවලින් තවදුරටත් ආරක්ෂා කළ යුතුය.

වෙනස් වන පරිසර පද්ධතිවලට අනුවර්තනය වන පරිදි, සමුද්‍රීය ආරක්ෂිත ප්‍රදේශ (Marine Protected Areas – MPAs) තුළ සංරක්ෂණ උපාය මාර්ග යාවත්කාලීන කිරීමේ වැදගත්කම විශේෂඥයෝ අවධාරණය කරති. මෙම වෙනස්කම් ආර්ථිකමය බලපෑම් ද ඇති කළ හැකි අතර, වෙරළබඩ ප්‍රජාවන් සඳහා මත්ස්‍ය අස්වැන්න වැඩි වීමක් අපේක්ෂා කර හැක.

 

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top