ඊශ්‍රායල යුද්ධයෙන් පසු ඉරාන උත්තරීතර නායකයා ප්‍රථම වරට ප්‍රසිද්ධියේ!

ඉරානය සහ ඊශ්‍රායලය අතර ගැටුම ආරම්භ වූ දා සිට ඉරානයේ උත්තරීතර නායක Ayatollah Ali Khamenei (අයතුල්ලා අලි කමේනි) ප්‍රථම වරට ප්‍රසිද්ධියේ පෙනී සිටි බව රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි. රාජ්‍ය රූපවාහිනී දර්ශනවල දැක්වුණේ, ෂියා මුස්ලිම් උත්සවයක් වන අෂුරා (Ashura) ට පෙර දින සෙනසුරාදා (ජූලි 05) පල්ලියක පැවති උත්සවයකදී ඔහු බැතිමතුන්ට ආචාර කරන අයුරුයි.

කමේනි අවසන් වරට ප්‍රසිද්ධියේ පෙනී සිටියේ, ජූනි 13 වැනිදා ආරම්භ වූ ඊශ්‍රායලය සමඟ පැවති ගැටුම අතරතුර පටිගත කරන ලද දේශනයකදීය. එම ගැටුමේදී ඉරාන ප්‍රධාන අණදෙන නිලධාරීන් සහ න්‍යෂ්ටික විද්‍යාඥයින් කිහිප දෙනෙකු ඝාතනය කෙරුණා. ඊශ්‍රායලය ඉරානයේ න්‍යෂ්ටික හා හමුදා කඳවුරුවලට අනපේක්ෂිත ප්‍රහාරයක් එල්ල කළ අතර, ඉන්පසු ඊශ්‍රායලය ඉලක්ක කර ගනිමින් ඉරානය ගුවන් ප්‍රහාර එල්ල කරමින් ප්‍රතිප්‍රහාර එල්ල කළා. ඊශ්‍රායලය සමඟ පැවති දින 12ක යුද්ධය අතරතුර, කමේනි රූපවාහිනියේ වීඩියෝ පණිවිඩ තුනකින් පෙනී සිටි අතර, ඔහු බංකරයක සැඟවී සිටින බවට අනුමාන පැවතුණා.

සෙනසුරාදා, ඉරාන මාධ්‍ය ආවරණයේ ප්‍රමුඛත්වය ගත්තේ කමේනිගේ මෙම පෙනී සිටීමයි. රූපවාහිනියෙන් ඔහුව දැකීමෙන් ආධාරකරුවන් ප්‍රීතිය ප්‍රකාශ කරන දර්ශන ද විකාශය වී තිබුණි. ඔහුගේ මෙම පෙනී සිටීම සිදුවන්නේ, ප්‍රධාන වශයෙන් ෂියා මුස්ලිම් රටක් වන ඉරානයේ මුහරම් (Muharram) මාසය තුළ ශෝක කාලයක් නිරීක්ෂණය කරන අතරතුරයි. මෙය සාම්ප්‍රදායිකව උත්තරීතර නායකයාගේ සහභාගීත්වයෙන් සිදු වේ. ඉස්ලාමීය ජනරජයේ නිර්මාතෘවරයාගේ නමින් නම් කර ඇති ටෙහෙරානයේ ඉමාම් කොමේනි පල්ලියේදී මෙම වීඩියෝව රූගත කළ බව රාජ්‍ය රූපවාහිනිය පැවසුවා.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top