ඊශ්‍රායල ප්‍රහාර මැද ගාසා තීරයේ අලුත උපන් බිළිඳෙකු සාගින්නෙන් මිය යයි; තවත් 116ක් මරුට

ඊශ්‍රායලය ආධාර සැපයීම අවහිර කරමින් සහ “මරණ උගුල්” ලෙස විස්තර කරන ලද මතභේදාත්මක එක්සත් ජනපද අනුග්‍රහය ලත් ආධාර ලබා ගැනීමේ ස්ථානවල ආහාර සොයන ජනතාවට වෙඩි තබමින් සිටියදී, ගාසා තීරයේ පලස්තීන බිළිඳෙකු සාගින්නෙන් මියගොස් තිබෙන බව වාර්තා වේ.

දින 35ක් වයසැති එම බිළිඳා ගාසා නගරයේ අල්-ෂිෆා රෝහලේදී (al-Shifa Hospital) මන්දපෝෂණයෙන් මියගිය බව, රෝහලේ අධ්‍යක්ෂ මුහම්මද් අබු සල්මියා (Muhammad Abu Salmiya) පවසා ඇත. ගාසා තීරයේ සෞඛ්‍ය අමාත්‍යාංශය අනතුරු ඇඟවූයේ, පෙර නොවූ විරූ තරම් සාගින්නෙන් පෙළෙන පිරිසකින් රෝහල් හදිසි වාට්ටු පිරී ඇති බවත්, ගාසා තීරයේ ළමුන් 17,000ක් දැඩි මන්දපෝෂණයෙන් පෙළෙන බවත් ය.

මේ අතර, ඊශ්‍රායල හමුදාව ගාසා තීරයට දිගින් දිගටම ප්‍රහාර එල්ල කරමින් සිටින අතර, වෛද්‍ය ආරංචි මාර්ග වාර්තා කරන්නේ, උදෑසන සිට කලාපය පුරා අවම වශයෙන් 116 දෙනෙකු මියගොස් ඇති බවයි. එක්සත් ජනපද අනුග්‍රහය ලත් ගාසා මානුෂීය පදනම (Gaza Humanitarian Foundation – GHF) විසින් පවත්වාගෙන යනු ලබන ආධාර ලබා ගැනීමේ ස්ථානවලින් ආහාර සොයමින් සිටියදී 38 දෙනෙකුට වෙඩි තබා ඝාතනය කර බව වාර්තා වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ, GHF විසින් මැයි මස අගදී ආධාර බෙදා හැරීම ආරම්භ කිරීමෙන් පසු, එක්සත් ජාතීන්ගේ ආයතන සහ පුණ්‍යායතන විසින් පවත්වාගෙන ගිය මධ්‍යස්ථාන 400ක් පමණ ප්‍රතිස්ථාපනය කරමින්, භයානක GHF ස්ථාන අසලදී ඊශ්‍රායල හමුදා සහ පෞද්ගලික හමුදා කොන්ත්‍රාත්කරුවන් විසින් පලස්තීනුවන් 900කට ආසන්න පිරිසක් ඝාතනය කර ඇති බවයි.

උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top