ඉන්දුනීසියාවේ බාලි අසලදී මගීන් 65ක් රැගත් යාත‍්‍රාවක් ගිලෙයි

ඉන්දුනීසියාවේ ජනප්‍රිය සංචාරක දූපතක් වන බාලි (Bali) අසලදී මගීන් 65 දෙනෙකු රැගත් යාත‍්‍රාවක් ගිලී යාමෙන් අවම වශයෙන් සිව් දෙනෙකු මියගොස් ඇති අතර දුසිම් ගණනක් අතුරුදන් වී ඇති බව බලධාරීන් ප්‍රකාශ කර ඇත.

KMP Tunu Pratama Jaya නමැති මෙම යාත‍්‍රාව නැගෙනහිර ජාවාහි බන්යුවංගි (Banyuwangi) වරායෙන් පිටත්ව ගිය කෙටි වේලාවකට පසුව ගිලී ගොස් ඇති බව ඉන්දුනීසියාවේ සෙවීම් සහ ගලවා ගැනීමේ ඒජන්සිය වන BASARNAS (බසාර්නාස්) ප්‍රකාශ කළා. බෝට්ටු නවයක් ඇතුළත් ගලවා ගැනීමේ මෙහෙයුම්වලින් දැනටමත් දිවි ගලවා ගත් 29 දෙනෙකු බේරාගෙන ඇති අතර, තවත් 32 දෙනෙකු සොයා සෙවීම් සිදු කෙරේ.

මුහුදේ සහ කාලගුණික තත්ත්වයන් උදෑසන වන විට යහපත් වෙමින් පැවති බවත්, එය දිවි ගලවා ගත් අය සෙවීමට උපකාරී වූ බවත් වාර්තා වේ. බන්යුවංගි පොලිස් ප්‍රධානී රාමා සම්තමා පුත්‍ර (Rama Samtama Putra) පැවසුවේ, මුහුදේ පැය ගණනාවක් පාවෙමින් සිටීමෙන් පසු බේරාගත් බොහෝ දෙනා මුලින් සිහිසුන්ව සිටි බවයි.

වර්තමානයේ සෞදි අරාබියේ සංචාරයක නිරතව සිටින ඉන්දුනීසියානු ජනාධිපති ප්‍රබෝවෝ සුබියැන්ටෝ (Prabowo Subianto) වහාම හදිසි ප්‍රතිචාරයක් දැක්වීමට නියෝග කළ බව කැබිනට් ලේකම් ටෙඩී ඉන්ද්‍රා විජය (Teddy Indra Wijaya) නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇති අතර, අනතුරට හේතුව “අයහපත් කාලගුණය” බව  සඳහන් කර ඇත.

උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top