ඇමෙරිකා එක්සත් ජනපදය සිය රටට ප්‍රහාරයක් එල්ල කළහොත් “සන්නද්ධ ජනරජයක්” (republic in arms) ප්‍රකාශ කරන බවට වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ (Nicolás Maduro) අනතුරු අඟවා තිබේ. මිසයිල 1,200කට වැඩි ප්‍රමාණයක් රැගත් ඇමෙරිකානු යුධ නෞකා අටක් දැන් කැරිබියන් මුහුදේ යොදවා ඇති බව කියා සිටින ඔහු, මෙය “වසර 100ක් තුළ මහද්වීපය තුළ දක්නට ලැබුණු විශාලතම තර්ජනය” ලෙස හැඳින්වීය. ඔහුගේ රජය ඊට ප්‍රතිචාර වශයෙන් වෙරළබඩ ප්‍රදේශවලට හමුදා යවා ඇති අතර, සිවිල් වැසියන්ගෙන් මිලීෂියා කණ්ඩායම් (militias) හා එක්වන ලෙස ඉල්ලා සිටිනබව වාර්තාවේ.
ඇමෙරිකාව පවසන්නේ, සිය පුළුල් කරන ලද නාවික පැවැත්ම වෙනිසියුලාව ආක්‍රමණය කිරීමට නොව, ලතින් ඇමරිකානු මත්ද්‍රව්‍ය ජාවාරම් කණ්ඩායම් (drug cartels) සමඟ සටන් කිරීම අරමුණු කරගත් එකක් බවයි. දහස් ගණනක් හමුදා භටයන් රැගත් උභයජීවී ප්‍රහාරක නෞකා (amphibious assault ships) තුනක්, දැනටමත් කලාපයේ රැඳී සිටින USS Gravely, USS Jason Dunham, USS Sampson සහ USS Lake Erie යන නෞකා සමඟ එක්වීමට නියමිතය. මදුරෝ මත්ද්‍රව්‍ය ජාවාරම් කණ්ඩායමකට නායකත්වය දෙන බවට වොෂින්ටනය චෝදනා කරන අතර, මෑතකදී ඔහුව අල්ලා ගැනීම සඳහා පිරිනැමෙන ත්‍යාගය ඩොලර් මිලියන 50 දක්වා දෙගුණ කර තිබේ.
වෙනිසියුලානු විදේශ අමාත්‍යවරයා ඇමෙරිකානු සාධාරණීකරණය “අසත්‍ය කථාවක්” (false narrative) ලෙස බැහැර කරමින්, බොහෝ කොකේන් නැව්ගත කිරීම් වෙනිසියුලාව හරහා නොව, පැසිෆික් සාගරය හරහා සිදුවන බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දත්ත උපුටා දක්වයි. තමා රටේ නීත්‍යානුකූල ජනාධිපතිවරයා බව අවධාරණය කරමින්, ඔහුගේ මතභේදාත්මක යළි තේරී පත්වීම පිළිබඳ ජාත්‍යන්තර විවේචන ද මදුරෝ ප්‍රතික්ෂේප කළේය. ඕනෑම ඇමෙරිකානු හමුදා ක්‍රියාමාර්ගයක් “මුළු කලාපයම අස්ථාවර කරන” අතර, ජනාධිපති ට්‍රම්ප් “අත්වල ලේ තැවරුණු” කෙනෙකු බවට පත් කරනු ඇතැයි ඔහු අනතුරු අඟවා ඇත.
උපුටා ගැනීම: සියළු තොරතුරු CBS NEWS ඇසුරෙනි.